පාතාලය මර්ධනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ කණ්ඩායම් ආරම්භක දෙදින තුළ පාතාල සාමාජිකයන් 17 කු ඇතුළු 27 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය
අත්අඩංගුවට ගත් සෙසු 10 දෙනා පාතාල සාමාජිකයන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රධාන පෙළේ පාතාල නායකයන්ගේ සමීප සාමාජිකයන් රැසක් වන බව ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
ඉකුත් 19 වෙනිදින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ,බුද්ධි අංශ නිලධාරීන් හා අපරාධ මර්ධන අංශවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ ප්‍රහාරක බල ඇනි 20 ක් පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම හා පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කළුතර ගම්පහ හා ගාල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි යොමු කරන ලදී.